පැය 24ක් කුඩා දැරියක්ව ආරක්ෂිතව බලාගත්තොත් ඩොලර් මිලියන 50ක කප්පමක් ලැබෙනවා කිව්වොත් ඔයා මොකද කරන්නේ? බැලූ බැල්මට මේක හරිම ලේසි වැඩක් වගේ පෙනුණත්, මේ කල්ලිය පැහැරගන්නේ සාමාන්‍ය දැරියක් නෙවෙයි කියලා දැනගද්දි ඒ අයට ගොඩක් පරක්කු වැඩියි. අද මම මේ කතා කරන්නේ මෑතකදී නිකුත් වෙලා ලොකු කතාබහකට ලක්වුණු අලුත්ම හොලිවුඩ් සලරුවක් ගැනයි.කතාව ආරම්භ වෙන්නේ අපරාධකරුවන් කණ්ඩායමක් විසින් යොවුන් බැලට් නර්තන ශිල්පිනියක්ව පැහැරගෙන හුදෙකලා මැඳුරකට රැගෙන ඒමත් සමඟයි. මේ දැරියගේ නම තමයි Abigail. කප්පම් මුදල ලබාගන්නා තුරු ඇයව රඳවාගෙන සිටීම තමයි මේ අයගේ සැලසුම වෙන්නේ. ඒත් මේ කල්ලිය දන්නේ නැති ලොකුම රහස තමයි, මේ දැරියගේ පියා පාතාල ලෝකයේ අතිශය භයානක චරිතයක් වන Kristof Lazaar වීම. ඒ වගේම ඊටත් වඩා භයානකම දේ තමයි, මේ පුංචි Abigail කියන්නේ ලේ බීලා ජීවත්වෙන දරුණු වැම්පයර්වරියක් වීම! ඉතින් පැහැරගත්ත අයට අවසානයේදී මේ පුංචි රාක්ෂයාගෙන් බේරිලා පණ බේරගන්න පුළුවන් වෙයිද කියන එක තමයි මේ Horror සහ Thriller ගණයට අයත් වෙන චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.