කෙලින්ම කතාවට බහිමු. සමහර චිත්‍රපට තියෙනවා බලලා ඉවර වුණාට පස්සෙත් දවස් ගාණක් යනකන් හිතට වද දෙන. The Kerala Story (2023) කියන්නේ අන්න ඒ වගේ හදවත කම්පා කරන චිත්‍රපටයක්. හෙද සේවිකාවක් වෙන්න හීන දැකපු කේරළයේ තරුණියක්, අවසානයේ ඇෆ්ගනිස්ථානයේ හිරගෙදරක ත්‍රස්තවාදියෙක් විදිහට නතර වෙන්නේ කොහොමද කියන ඛේදවාචකය තමයි මේකෙන් දිගහැරෙන්නේ.Adah Sharma විසින් රඟපාන ශාලිනි උන්නික (පසුව ෆාතිමා) තමයි ප්‍රධාන චරිතය. ඇය කේරළයේ කාසර්ගෝඩ් වල නර්සිං හොස්ටල් එකකට එනවා. එතැනදී ඇයට මුණගැහෙනවා Nimah Mathew (Yogita Bihani), Geethanjali Menon (Siddhi Idnani) සහ Asifa (Sonia Balani) කියන යෙහෙළියන්ව. මේ කතාවේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ මේ ආසිෆා කියන චරිතයයි. ආසිෆා බොහොම සූක්ෂම විදිහට අනිත් ගැහැණු ළමයි තුන්දෙනාගේ මොළය හෝදන්න (Brainwash) පටන් ගන්නවා. අනිත් ආගම් වල දෙවිවරුන්ව විවේචනය කරමින්, තමන්ගේ දර්ශනය විතරක් නිවැරදියි කියන මතය ඔවුන්ගේ ඔළු වලට දානවා. ඊටපස්සේ ආසිෆාගේ මැදිහත් වීමෙන් මේ කෙල්ලන්ව රමීස්, අබ්දුල් වගේ තරුණයින්ගේ ආදර දැල් වලට පටලවනවා. ආදරය, ගැබ්ගැනීම් සහ බිය ගැන්වීම් හරහා මේ කෙල්ලන්ව අන්තවාදයට ඇදලා දාන හැටි ඇඟ කිලිපොලා යන විදිහට අධ්‍යක්ෂක Sudipto Sen සහ නිෂ්පාදක Vipul Amrutlal Shah මෙහි නිරූපණය කරලා තියෙනවා.