දේශපාලනය කියන්නේ හරිම අපිරිසිදු ක්‍රීඩාවක්. විශේෂයෙන්ම රටවල් දෙකක් අතර ත්‍රස්තවාදය සහ ආගමික මතවාදයන් පලිහක් කරගෙන දේශපාලනය කරනකොට ඒකෙ ප්‍රතිඵලය වෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙන එක විතරක් නෙමෙයි, අවංක නිලධාරීන් පවා දේශපාලන බිලිපූජාවන් බවට පත්වීමයි. 2007 වසරේ ඉන්දියාවේ සිදුවුණු සම්‍ඣෞතා එක්ස්ප්‍රස් (Samjhauta Express) දුම්රිය බෝම්බ ප්‍රහාරය සහ ඉන්පසු ගෙතුණු ‘හින්දු ත්‍රස්තවාදය’ නොහොත් Saffron Terror කියන සංකල්පය පිටුපස තියෙන සැබෑ අඳුරු කතාව තමයි මේ චිත්‍රපටයෙන් දිගහරින්නේ. පාකිස්තාන බුද්ධි අංශ සහ ඉන්දීය දේශපාලනඥයන්ගේ කුමන්ත්‍රණ හමුවේ රට වෙනුවෙන් පෙනී සිටින හමුදා නිලධාරියෙක්ට මුහුණ දෙන්න වෙන ඛේදවාචකය මෙය මැනවින් නිරූපණය කරනවා.සත්‍ය සිදුවීම් සහ කෘතියක් පාදක කරගනිමින් නිර්මාණය වුණු Match Fixing (2025) චිත්‍රපටය ඉන්දියානු දේශපාලන සිනමාවේ ආන්දෝලනාත්මක නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම 26/11 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය දක්වා දිවෙන මේ කතාවේදී, පාකිස්තානයේ ISI සංවිධානය කොහොමද ඉන්දියාව ඇතුළේ ප්‍රහාර සැලසුම් කළේ කියන එක සහ, ඒ ප්‍රහාරවලට ඉන්දියාවේම දේශපාලනඥයින්ගේ සහාය නොදැනුවත්ව හෝ දැනුවත්ව ලැබුණු ආකාරය ගැන විශාල හෙළිදරව්වක් කරනවා.