දිනය 2022 ජනවාරි 29. අමෙරිකාවේ මැසචුසෙට්ස් හි කැන්ටන් ප්‍රදේශයට දරුණු හිම කුණාටුවක් කඩා හැලෙමින් තිබුණු රාත්‍රියක්. පසුදා උදෑසන ගෙවත්තක හිම අතරින් සොයාගන්නේ බොස්ටන් පොලිස් නිලධාරියෙකු වන ජෝන් ඕ’කීෆ්ගේ (John O’Keefe) අජීවී සිරුරයි. ඔහුගේ පෙම්වතිය වූ කැරන් රීඩ් (Karen Read) කලබලයෙන් අසන්නේ “මට එයාව හැප්පුණාද? මම එයාව හැප්පුවද?” යන ප්‍රශ්නයයි. එතැනින් ආරම්භ වන්නේ මෑත ඉතිහාසයේ අමෙරිකාවම දෙකඩ කළ, වඩාත්ම ආන්දෝලනාත්මක නඩු විභාගයක කතාන්දරයයි.Accused: The Karen Read Story (2026) වාර්තා චිත්‍රපටය (Documentary) දිගහරින්නේ හුදෙක් මිනීමැරුම් චෝදනාවක් ගැන පමණක් නොවෙයි. මුලින්ම මෙය බීමත් රිය අනතුරක් ලෙස පෙනුණත්, කැරන්ගේ නීතීඥයින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්නේ කම්පනය දනවන වෙනත් කතාවක්. ඔවුන් චෝදනා කරන්නේ ජෝන් ඕ’කීෆ්ව නිවස ඇතුළතදී වෙනත් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පහර දී මරා දමා, පසුව සිරුර හිම මතට විසි කර කැරන් රීඩ්ව කොටු කළ බවයි. මෙම වාර්තාමය නිර්මාණය තුළින් උසාවියේ සිදුවූ උණුසුම් වාද විවාද, “Free Karen Read” ලෙස ගොඩනැගුණු දැවැන්ත ජනතා ව්‍යාපාරය සහ මේ සිදුවීම පිටුපස ඇති සැඟවුණු සත්‍යයන් ඉතා සියුම්ව විමර්ශනය කරනවා.