සාමාන්‍ය මගියෙක් විදියට කෝච්චියේ, බස් එකේ යනකොට කවදාහරි හිතිලා තියෙනවද කොහේ හරි හැංගිලා ඉන්න ත්‍රස්තවාදියෙක් නිසා අපේ ජීවිතේ තත්පරෙන් නැතිවෙයි කියලා? මේක තමයි ලෝකේ පුරාම ඉන්න අහිංසක මිනිස්සුන්ගේ බය. නමුත් මේ සාමාන්‍ය මිනිසාගේ (Common Man) ඉවසීමේ සීමාව පැන්නොත් මොකද වෙන්නේ? A Wednesday! (2008) කියන්නේ අන්න ඒ ප්‍රශ්නෙට කම්මුල් පාරක් වගේ උත්තර දෙන, හින්දි සිනමාවේ බිහිවුණු අග්‍රගණ්‍ය සිනමා සිත්තමක්. අධ්‍යක්ෂක Neeraj Pandey ගේ මංගල සිනමා නිර්මාණය වන මෙහි ප්‍රධාන චරිත සඳහා ඉන්දීය සිනමාවේ දැවැන්තයින් දෙදෙනෙක් වන Naseeruddin Shah සහ Anupam Kher රංගනයෙන් දායක වෙනවා. IMDb දර්ශකයේ 8.1/10 වැනි ඉතා ඉහළ අගයක් ලබාගෙන ඇති මෙම නිර්මාණය, බොලිවුඩයේ බිහිවූ විශිෂ්ටතම Crime / Thriller චිත්‍රපටයක් ලෙස අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන්.පොලිස් කොමසාරිස් ප්‍රකාශ් රතෝර් (Prakash Rathod) සිය රාජකාරියෙන් විශ්‍රාම යාමට ආසන්නව සිටියදී, ඔහුගේ ජීවිතයේ මුහුණ දුන් අභියෝගාත්මකම සිදුවීමක් ගැන මතක් කරනවා. ඒ සියල්ලම සිදුවුණේ එක්තරා බදාදා දිනයකයි. එක්වරම නාඳුනන පුද්ගලයෙක් දුරකථනයෙන් අමතා මුම්බායි නගරයේ ජනාකීර්ණ ස්ථාන 5ක බෝම්බ අටවා ඇති බව පවසනවා. නගරය පුරා දැවැන්ත භීතිකාවක් පැතිර යද්දී, ඔහු ඉල්ලා සිටින්නේ රජයේ අත්අඩංගුවේ සිටින ප්‍රධාන පෙළේ ත්‍රස්තවාදීන් හතර දෙනෙක් වන ඉබ්‍රාහිම් ඛාන් (Ibrahim Khan), ඉක්ලාක් අහමඩ් (Iqlak Ahmed), මොහොමඩ් සහීර් (Mohammad Zaheer) සහ කුර්ෂීඩ් ලාලා (Khursheed Lala) වහාම නිදහස් කරන ලෙසයි. නමුත් කතාවේ ලොකුම Plot Twist එක තියෙන්නේ එතනයි. මේ නාඳුනන පුද්ගලයාගේ සැබෑ අරමුණ ඔවුන්ව නිදහස් කිරීම නොව, ඒ ත්‍රස්තවාදීන්ව තමාගේම දෑතින් ඝාතනය කිරීමයි. ඔහු තමන්ව හඳුන්වාගන්නේ ‘මෝඩ සාමාන්‍ය මිනිසෙක්’ (Stupid common man) විදිහටයි. තමන්ගේ රටේ අහිංසක මිනිස්සු බෝම්බ වලින් මැරෙන එක බලන් ඉන්න බැරිම තැන, පද්ධතියට එරෙහිව නැගී සිටින මේ සාමාන්‍ය මිනිසාගේ මෙහෙයුම අවසන් වෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.