පුංචි කාලෙදි අපි හැමෝම ආස කරනවා අපේම කියලා ගෙවත්තක් හදන්න, ලස්සන මල් පැල වවන්න. ඒත් ඔයා කවදාහරි හිතලා තියෙනවද ගස් වැල් වලටත් අපිට වගේම හැඟීම් දැනෙනවා කියලා? 2025 වසරේ නිකුත් වුණු Grow චිත්‍රපටය මේ වගේ වෙනස්ම විදිහේ මාතෘකාවක් රැගත් අපූරු Family Comedy නිර්මාණයක්. පවුලේ හැමෝටම එකට ඉඳගෙන හිනාවෙවී බලන්න පුළුවන්, හිතට දැනෙන ලස්සන කතාවක් මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙනවා.චාලි (Priya-Rose Brookwell) කියන්නේ අම්මා දාලා ගියපු හුදකලා වුණු පුංචි ගෑනු ළමයෙක්. අනාථ නිවාසයක ඉඳලා ඇයව බලාගන්න භාර වෙන්නේ ඇගේ නැන්දා වෙන ‘ඩයිනා’ ට (Golda Rosheuvel). ඩයිනා කියන්නේ නිතරම කේන්තියෙන් ඉන්න, හුදකලාව ගොවිපළක් කරගෙන යන කාන්තාවක්. එයාලා ජීවත් වෙන ගම “ලෝකයේ වට්ටක්කා අගනුවර” (Pumpkin Capital of the World) විදිහටයි ප්‍රසිද්ධ. මේ ගමේ අවුරුදු පතා තියෙනවා දැවැන්ත වට්ටක්කා තරඟයක්. චාලි තීරණය කරනවා මේ තරඟයට ඉදිරිපත් වෙලා දිනන ත්‍යාග මුදලින් එයාගේ අම්මාව හොයාගෙන ඇමරිකාවේ හොලිවුඩ් යන්න. චාලිට තියෙනවා විශේෂ හැකියාවක්. ඇයට පුළුවන් ගස් වැල් වල හැඟීම් තේරුම් ගන්න. ඉතින් ඇය ආලෝ (Nick Frost) කියන විනෝදකාමී පුද්ගලයාගේ උදව්වත් එක්ක ‘පීටර්’ කියලා දැවැන්ත වට්ටක්කාවක් වවන්න පටන් ගන්නවා. හැබැයි මේ වැඩේ ලේසි වෙන්නේ නෑ. රසායනාගාරයක කෘතීමව වට්ටක්කා වවන ග්‍රෙගරි මහතා (Jeremy Swift) වගේ කපටි තරඟකරුවෙක් එක්ක වගේම තවත් රහස් බොහොමයක් එක්ක සටන් කරන්න මේ පුංචි කෙල්ලට සිද්ධ වෙනවා.