අපේ සමාජයේ හුඟක් පවුල් ජීවත් වෙන්නේ ‘අහල පහල මිනිස්සු මොනවා කියයිද’ කියන බයත් එක්කයි. තමන්ගේ නම්බුව, ගෞරවය රැකගන්න ඕනෑම දෙයක් කරන්න ඔවුන් සූදානම්. 2024 වසරේ අගෝස්තු මාසයේ නිකුත් වුණු Bharathanatyam කියන්නේ අන්න ඒ වගේ සම්ප්‍රදායික, නම්බුකාර පවුලකට මුහුණ දෙන්න වෙන නොහිතපු අකරතැබ්බයක් ගැන කියවෙන අපූරු මලයාලම් සිනමා නිර්මාණයක්.කතාව ගැන කෙටියෙන් කිව්වොත්, භරතන් නායර් (Saikumar) කියන්නේ ගමේ බොහොම පිළිගැනීමක් තියෙන දැඩි පියෙක්. ඔහුගේ ලොකු පුතා තමයි සසි (Saiju Kurup). සසි ගමේ පන්සලේ කමිටුවල එහෙම වැඩ කරන, බොහොම සාමාන්‍ය විදිහට තමන්ගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. හදිසියේම භරතන් නායර්ට අංශභාගය හැදිලා රෝහල්ගත කරනවා. වෛද්‍යවරු පවසන්නේ ඔහුට තව වැඩි කාලයක් ජීවත් වෙන්න වාසනාව නැහැ කියලයි. ඔය අතරතුර තමයි මේ මරණ මංචකයේ ඉන්න තාත්තා, පුතාට ජීවිතේ කවදාවත් නොහිතපු රහසක් හෙළි කරන්නේ. ඒ රහස තමයි, තාත්තාට උතුරු කේරළයේ තවත් බිරිඳක් සහ පුතෙක් ඉන්නවා කියන එක! ඒ විතරක් නෙවෙයි, මියයන්න කලින් තමන්ගේ ඒ පවුල දකින්න ඕනේ කියන අන්තිම කැමැත්තත් ඔහු ප්‍රකාශ කරනවා. ඉතින් තාත්තාගේ අන්තිම කැමැත්ත ඉටු කරන්න සසිට සිද්ධ වෙනවා මේ අලුත් පවුල ගෙදරට අරන් එන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, ගමේ මිනිස්සුන්ට මේක ආරංචි වුණොත් මේ පවුලේ නම්බුවට මොකද වෙන්නේ? මේ පවුල් දෙක එකම වහලක් යටට ආවාම මොනවා වෙයිද? චිත්‍රපටයේ සම්පූර්ණ හාස්‍යය ගොඩනැගිලා තියෙන්නේ මේ අර්බුදය වටායි.