ජීවිතයේ බලාපොරොත්තු කඩවී, සමාජයෙන් කොන් වූ පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න අහඹු අවස්ථාවක් ලැබුණොත් මොකද වෙන්නේ? A Poet (2025) හෙවත් ස්පාඤ්ඤ බසින් Un poeta ලෙස හැඳින්වෙන මේ සිනමාපටය, අන්න ඒ වගේ කටුක යථාර්ථයක් සහ හාස්‍යය මුසු වූ අපූරු කතාවක් අපිට ගෙන එනවා.මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ Óscar Restrepo. ඔහු වයසට ගිය, කිසිදු සාර්ථකත්වයක් නොලද, බේබදු කවියෙක්. තමන්ගේ දියණියගෙන් පවා ඈත් වෙලා, ණය බරින් මිරිකිලා ජීවත් වෙන ඔහුට දිනක් Yurlady (යුර්ලේඩි) නම් 15 හැවිරිදි යොවුන් දැරියක් මුණගැහෙනවා. ඇය ඉතාමත් දුප්පත් පවුලකින් ආවද, ඇය තුළ සැඟවුණු අපූරු කවි ලිවීමේ හැකියාවක් තියෙනවා. ඇගේ දක්ෂතාවය දකින ඔස්කාර්, ඇයට උදව් කරලා ඇයව සමාජයට ගෙනියන්න උත්සාහ කරනවා. ඒ හරහා තමන්ගේ ජීවිතේ කරගත්ත වැරදි හදාගන්නත් ඔහුට වුවමනා වෙනවා. නමුත්, ඔහුගේ පාලනයෙන් තොර බේබදුකම සහ වගකීම් විරහිතකම නිසා කතාව සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙනවා.